ලක්සල 14 වැනි ශාඛාව මීගමුවේදී විවෘත කෙරේ

අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව දේශීය ශිල්පියාට තම නිෂ්පාදන සඳහා උපරිම වටිනාකමක් ලබාදීම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයට අයත් ලක්සල 14 වැනි අලෙවි ශාඛාව ඊයේ (11) මීගමුව නගරයේදී විවෘත කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මීගමුව සංචාරක කලාපය කේන්ද්‍ර කරගනිමින් මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් විවර කිරීම මෙම ශාඛාව ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, සංචාරක ආකර්ෂණය සහිත නගරයක ලක්සල ප්‍රදර්ශනාගාරයක් ස්ථාපිත කිරීම මඟින් මෙරට සංස්කෘතික අනන්‍යතාවය ලොවට විදහා දැක්වීමටත්, ග්‍රාමීය ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමටත් වැදගත් දායකත්වයක් සැපයෙන බවයි.

බතික් නිෂ්පාදන, ලී කැටයම්, මැටි හා පිත්තල භාණ්ඩ මෙන්ම දේශීය මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන රැසක් මෙම නව ශාඛාව හරහා මිලදී ගත හැකි වේ.

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපතිනි සුජීවා සේනානායක මහත්මිය සහ ලංකා මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති සිසිර අමරබන්දු මහතා ද මෙහිදී අදහස් දක්වමින්, දේශීය නිෂ්පාදන සඳහා නවීන මෝස්තර හා තාක්ෂණය මුසු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට තම ආයතන අඛණ්ඩව කැපවන බව ප්‍රකාශ කළහ.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල මහත්මිය ඇතුළු නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, මෙරට ආර්ථිකයේ කාර්මික පුනර්ජීවනය උදෙසා ගනු ලැබූ තවත් ප්‍රශස්ත පියවරක් ලෙස හඳුන්වා දෙන ලදී.