වියළා, වර්ණ ගන්වා සකස් කර නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ සත්ත්ව හම් තොගයක් සමඟ පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ (Red Channel) ඔස්සේ අදාළ හම් තොගය පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
මුදල් පසුම්බි සකස් කිරීම සඳහා යොදාගන්නා කිඹුලන්, පිඹුරන්, වෙනත් උරගයන් සහ වෙනත් සත්ත්වයන්ගේ හම් කොටස් 19 ක් මෙහිදී සොයාගෙන ඇති අතර, සැකකරු වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, සත්ත්ව රෝග හා සම්බන්ධ වෙනත් අණ පනත්වල සඳහන් නීති සහ රෙගුලාසි රැසක් උල්ලංඝනය කර මෙම හම් තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයකු වන අතර, ඔහු මෙම සත්ත්ව හම් තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන තම ගමන් මලු තුළ සඟවාගෙන ගුවන්තොටුපොළ වෙත පැමිණීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.








