විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන්ට රු. 100,000ක ආධාර
උසස් පෙළ විශිෂ්ටයන්ගේ ශිෂ්‍යත්ව දෙගුණ කරයි | සැත්කම් පෝලිම් අවම කෙරේ
ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල් ඉහළ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) රැස්වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කරයි.
අධ්‍යාපනික ශිෂ්‍යත්ව පුළුල් කිරීමට සහ සැත්කම් පෝලිම් අවම කිරීමට ගත හැකි පියවර පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
ඒ අනුව කමිටු නිර්දේශවලට අනුව, දැනට ලබා දෙන වෛද්‍යාධාර ගාස්තු සංශෝධනය කරමින් එම ආධාර මුදල වැඩි කිරීමට තීරණය විය. වෛද්‍යාධාර ලබා දීමේදී දැනට පවතින දැඩි නිර්ණායක ලිහිල් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ආධාර ලබා ගත හැකි වන පරිදි සරල කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය. එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයකුගේ නිර්දේශ මත පමණක් වෛද්‍යාධාර ලබා දීමට ද තීරණය විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ඔවුන්ගේ අධ්‍යාපන සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක එකවර ගෙවන ආධාර මුදලක් ලබා දීමට පාලක මණ්ඩලය මෙහිදී තීරණය කළේය.
සෑම දිස්ත්‍රික්කයකම එක් විෂය ධාරාවකින් වැඩිම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන්ට මෙතෙක් ලබා දුන් ශිෂ්‍යත්ව සංඛ්‍යාව 10 සිට 20 දක්වා දෙගුණ කිරීමට ජනාධිපතිවරයාගේ යෝජනාව පරිදි තීරණය විය.
රජයේ රෝහල්වල හෘදය සැත්කම් (Heart Surgeries) සහ ඇසේ සුද ඉවත් කිරීමේ (Cataract) සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අවම කිරීම සඳහා ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට මෙහිදී සාකච්ඡා විය. මේ යටතේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල්වල පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් 10,000 ක විශේෂ සහනයක් ලබා දීම දැනටමත් ආරම්භ කර ඇති අතර, එමඟින් සිසුන් 54,000කට අධික පිරිසකට දැනටමත් ප්රතිලාභ ලැබී ඇත.
එමෙන්ම, විදේශගතව සිටියදී ආපදාවලට ලක් වූ පවුල්වල, වකුගඩු රෝගීන්ගේ පවුල්වල සහ අවදානම් සහිත රැකියාවල නිරතවන්නන්ගේ පවුල්වල දරුවන් වෙනුවෙන් ලබා දෙන අධ්‍යාපනික ආධාර වැඩි කිරීමට ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී සොයා බැලිණි. ජනාධිපති අරමුදලේ මූල්‍ය තත්ත්වය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති අතර, අරමුදල මඟින් ආධාර ලබන්නන්ගේ ප්‍රමාණයන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙබ් අඩවියේ පළ කිරීමටත්, විනිවිදභාවය තහවුරු කිරීමටත් උපදෙස් දෙන ලදි.
ජනාධිපති අරමුදල මඟින් සිදු කෙරෙන මහපොළ ශිෂ්‍යත්ව ගෙවීම් ද පසුගිය වසරේදී දෙගුණයකින් පමණ වැඩි කර ඇති අතර, 2026 වර්ෂය සඳහා ද වැඩි දෙනකුට ප්රතිලාභ ලැබෙන පරිදි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට පාලක සභාවේ අනුමැතිය හිමි විය.
මෙම පාලක මණ්ඩලය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනකු ඇතුළුව සාමාජිකයන් 07දෙනකුගෙන් සමන්විතය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි, හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ යන මහත්වරු සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
උපාලි කරුණාරත්න








