බස් රථ කර්මන්තය සඳහා නීති ගෙන ආ යුතු වුවත් කැකිල්ලේ තීන්දු ගෙන ඒමට කටයුතු නොකරන ලෙස ප්‍රවාහන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එසේ කළහොත් රට පුරා බස් ධාවනය නවත්වා වර්ජනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන රියැදුරන් හා කොන්දොස්තරවරුන් හසු වුවහොත් බස් රථ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසි කරන බවට ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා මේ බව කීවේය.
ඇමැතිවරයාගේ එම ප්‍රකාශය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයිද හෙතෙම කීවේය.
“ප්‍රායෝගිකව හිතලා තීරණ නොගත්තොත් සමස්ත රටේම බස් ධාවනය දවසකට දෙකකට නවත්තලා ස්ට්‍රයික් කළොත් බලමු ආණ්ඩුව මොකද කරන්නේ කියලා. නිදන් ඉන්න කොටි අවුස්ස ගන්න එපා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමැතියි. අහසින් බැහැලා වගේ ඇවිත් මේ වගේ දේවල් කියනවා. බස් රථ හිමිකරු කොහොමද දන්නේ රියැදුරු බීලද නැද්ද කියලා. එහෙම බලනවා නම් සීටීබී එකෙත් චෙක් කරන්න ඕනේ. තව චෙක් කරන්න කොච්චර දේවල් තිබෙනවාද. ඇහේ පොල් පරාල තියාගෙන කෙන්ද බලන්න එපා. පනත් ගේන්න ඕනේ. තීන්දු ගන්න ඕනේ. නීති ගෙන්න ඕනේ. නමුත් කැකිල්ලේ තීන්දු ගන්න එපා කියලා ඇමැතිවරයාට කියන්න කැමැතියි” යැයිද හෙතෙම මෙහිදී පැවසුවේය.
සුභාෂිණී සේනානායක








