පසුගිය 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම රුපියල් කෝටි 619,400 (අමෙරිකානු ඩොලර් මිලියන 20,647.1)ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඒ අනුව භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 13,581.4ක ආදායමක් උපයාගෙන තිබෙන අතර සේවා අපනයන ආදායම ඩොලර් මිලියන 7,065.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
පසුගිය 2025 වසරේදී ශ්‍රී ලංකාව උපයා තිබෙන සමස්ත අපනයන ආදායම ගත්විට එය පසුගිය 2024 වසරේ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 4.9ක වර්ධනයක් වන අතර භාණ්ඩ අපනයන ආදායම සියයට 6.3ක සහ සේවා අපනයන ආදායම සියයට 2.3ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම්කර තිබේ. ඊට අමතරව පසුගිය 2025 වසරේ දෙසැම්බර් මාසයේදී පමණක් ඩොලර් මිලියන 1,879ක අපනයන ආදායමක් වාර්තාකර තිබෙන අතර ඩොලර් මිලියන 1,158ක භාණ්ඩ අපනයන ආදායමක් සහ ඩොලර් මිලියන 721ක සේවා අපනයන ආදායමක් ඒ අතර වෙයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍ර හය විවිධාංගීකරණය කරමින් රටපුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදුකරයි. වෙෙළඳ භාණ්ඩ අපනයන ගත්විට ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්රිත නිෂ්පාදන, පොල් ආශ්රිත නිෂ්පාදන, දියමන්ති, මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රොනික හා ඉලෙක්ට්‍රොනික සංරචක, කුළුබඩු හා සාන්ද්‍රිත නිෂ්පාදන, සැකසූ ආහාර පාන වර්ග, මුහුදු ආහාර සහ විසිතුරු මසුන් ප්‍රධාන තැනක් ගෙන තිබෙන අතර එම නිෂ්පාදන එක්සත් ජනපදය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කැනඩාව, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, හොංකොං, ඉරාකය සහ මෙක්සිකෝව ඇතුළු රටවලට අපනයනය කර තිබේ.
මහින්ද අලුත්ගෙදර








