2025 සමස්ත අප­න­යන ආදා­යම රු. කෝටි 619,400යි

පසු­ගිය 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ සමස්ත අප­න­යන ආදා­යම රුපි­යල් කෝටි 619,400 (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 20,647.1)ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව භාණ්ඩ අප­න­ය­න­යෙන් ඩොලර් මිලි­යන 13,581.4ක ආදා­ය­මක් උප­යා­ගෙන තිබෙන අතර සේවා අප­න­යන ආදා­යම ඩොලර් මිලි­යන 7,065.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකු­ත්කළ නව­තම වාර්තා­වක් මඟින් පෙන්වා දෙයි.

පසු­ගිය 2025 වස­රේදී ශ්‍රී ලංකාව උපයා තිබෙන සමස්ත අප­න­යන ආදා­යම ගත්විට එය පසු­ගිය 2024 වසරේ අප­න­යන ආදා­ය­මට සාපේ­ක්ෂව සිය­යට 4.9ක වර්ධ­න­යක් වන අතර භාණ්ඩ අප­න­යන ආදා­යම සිය­යට 6.3ක සහ සේවා අප­න­යන ආදා­යම සිය­යට 2.3ක කැපී පෙනෙන වර්ධ­න­යක් පෙන්නු­ම්කර තිබේ. ඊට අම­ත­රව පසු­ගිය 2025 වසරේ දෙසැ­ම්බර් මාස­යේදී පම­ණක් ඩොලර් මිලි­යන 1,879ක අප­න­යන ආදා­ය­මක් වාර්තා­කර තිබෙන අතර ඩොලර් මිලි­යන 1,158ක භාණ්ඩ අප­න­යන ආදා­ය­මක් සහ ඩොලර් මිලි­යන 721ක සේවා අප­න­යන ආදා­ය­මක් ඒ අතර වෙයි.

තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළ­ම­නා­ක­රණ (BPM), ඉදි­කි­රීම්, මූල්‍ය සේවා සහ ප්‍රවා­හන හා සැප­යුම් යන අංශ­ය­න්ගෙන් සම­න්විත සේවා අප­න­යන අංශය, ශ්‍රී ලංකාවේ අප­න­යන ක්ෂේත්‍ර හය විවි­ධාං­ගී­ක­ර­ණය කර­මින් රට­පුරා ඉහළ වටි­නා­ක­මක් ඇති රැකියා අවස්ථා නිර්මා­ණය කිරීම අඛ­ණ්ඩව සිදු­ක­රයි. වෙ‍ෙළඳ භාණ්ඩ අප­න­යන ගත්විට ඇඟ­ලුම් සහ රෙදි­පිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පා­දන, පොල් ආශ්‍රිත නිෂ්පා­දන, දිය­මන්ති, මැණික් හා ස්වර්ණා­භ­රණ, ඉලෙ­ක්ට්‍රො­නික හා ඉලෙ­ක්ට්‍රො­නික සංර­චක, කුළු­බඩු හා සාන්ද්‍රිත නිෂ්පා­දන, සැකසූ ආහාර පාන වර්ග, මුහුදු ආහාර සහ විසි­තුරු මසුන් ප්‍රධාන තැනක් ගෙන තිබෙන අතර එම නිෂ්පා­දන එක්සත් ජන­ප­දය, ඉන්දි­යාව, එක්සත් රාජ­ධා­නිය, ජර්ම­නිය, ඉතා­ලිය, නෙද­ර්ල­න්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කැන­ඩාව, චීනය, ප්‍රංශය, ඔස්ට්‍රේ­ලි­යාව, බෙල්ජි­යම, හොංකොං, ඉරා­කය සහ මෙක්සි­කෝව ඇතුළු රට­ව­ලට අප­න­ය­නය කර තිබේ.

මහින්ද අලු­ත්ගෙ­දර