මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකාරියක වන ඩේසි ෆොරස්ට් නමැත්තිය නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක සිටින්නේ ද යන්න පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාව ලැබී නොමැති බැවින් නඩුව අප්‍රේල් 24දා කැඳවීමට නියම විය.
කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා හමුවේ ඊයේ (09) නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.
2009 වසරේ මාර්තු මස 31දා සහ 2013 වසරේ දෙසැම්බර් 12දා අතර කාලය තුළදී කොළඹදී සහ තංගල්ලේදී රුපියල් පන්කෝටි අනූහයලක්ෂ හැත්තෑනවදහස් නවසීයක (රු.596,79,900) මුදලක් උපයාගත් ආකාරය හෙළි කළ නොහැකිවීමේ චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
දණ්ඩ නීති සංග්‍රහයේ 113අ සමඟ කියවිය යුතු 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ නඩු පැවරීම සිදුකර තිබේ.
2025 වසරේ නොවැම්බර් 6දා අධිකරණය දුන් නියෝගයක් අනුව විත්තිකාරිය දෙසැම්බර් 11දා කොළඹ ප්‍රධාන වෛද්‍යවරයා හමුවේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලදී. එම පරීක්ෂණයෙන් පසුව සීටී ස්කෑන් පරීක්ෂණයක් කළ යුතු බව තීරණය කර ඇති අතර එය පෞද්ගලික රෝහලක දී කර ඇත. එහි වාර්තාව ස්නායු රෝග විශේෂඥ දර්ශන සිරිසේන මහතාට ඉදිරිපත් කර ඔහුගේ වාර්තාවෙන් පසු අවසාන වාර්තාව සකස් කිරීමට නියමිත බව රජයේ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුව ගොනුකර මේ වන විට වසර 8කට ආසන්න කාලයක් ගතව තිබේ. විත්තිකරුවන්ට සමාන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය ඉදිරියේ තවත් නඩුවක් පවරා ඇති අතර එම නඩුව ලබන 25දා කැඳවීමට නියමිතය.
අනිල් ද සිල්වා හා සම්පත් මෙන්ඩිස් යන ජනාධිපති නීතිඥ මහත්වරු විත්තිය වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවිය.
චන්දන ජයවීර








