මෙරට තැපැල් සේවාවේ ප්‍රවාහන ජාලය නවීකරණය කරමින් රුපියල් කෝටි 59කට අධික වටිනාකමකින් යුත් නව රථවාහන පෙළක් තැපැල් සේවයට එක් කිරීමේ අවස්ථාව අනිද්දා (12) පස්වරු 1.00 ට තැපැල් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ, රුපියල් කෝටි පනස් නවයක පිරිවැයක් දරා මිලදී ගත් නව ලොරි රථ 10ක් සහ කෲ කැබ්රථ 20ක් තැපැල් ප්‍රවාහන ජාලයට නිල වශයෙන් එක් කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම උත්සවයට සමගාමීව තැපැල්කරුවන්ගේ යතුරුපැදි සඳහා නව තැපැල් බහාලුම් පෙට්ටි බෙදාදීමේ නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කෙරෙන අතර, ලිපි සහ පාර්සල් වඩාත් ආරක්ෂිතව සහ පහසුවෙන් ප්‍රවාහනය කිරීම මෙහි මූලික අරමුණ බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.
2025 වසරේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා මධ්‍ය තැපැල් හුවමාරුවේ සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි සේවාවන් පුළුල් කෙරෙන බවත් විශේෂයෙන් වර්තමානයේ ඉහළ ඉල්ලුමක් පවතින භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ සේවාව ඇතුළු සියලු තැපැල් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු මෙමගින් තවදුරටත් කාර්යක්ෂම වනු ඇති බවත් අමාත්‍යාංශය පවසනවා.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ තැපැල්පති රුවන් සත්කුමාර ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතව ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.








