අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ප්රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එම කොමිසම හමුවේ ලබන 13 වැනිදා පෙනී සිටින ලෙස දන්වා යවා තිබේ. මෙම සිද්ධියට අදාළව හිටපු අගවිනිසුරු මෙන්ම හිටපු නීතිපතිවරයකු ද වන මොහාන් පීරිස් මහතාට ද එළැඹෙන 16 වැනිදා කොමිසම හමුවේ පෙනී සිට ප්රකාශයක් ලබා දෙන ලෙසට කොමිසම දැනුම් දී තිබේ. මේ බවට දැනුම් දෙමින් පසුගිය 06 වැනිදා කොමිසම විසින් ලිපියක් නිකුත් කර තිබේ. කොළඹට ආසන්න ප්රදේශයක පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවාස කිහිපයක් නීතිවිරෝධි ලෙස පුද්ගලයන් කිහිපදෙනකු වෙත ලබාදීමට අනුමත කරමින් ලිපි නිකුත් කිරීමකට අදාළව ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කරන විමර්ශනයකට ප්රකාශ ගැනීම සඳහා මෙසේ කොමිසම මඟින් කැඳවීමක් කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ සමයේ මෙම සිදුවීම සිදුව ඇති බව පැමිණිල්ලේ දක්වා ඇත.
සුභාෂිණී සේනානායක








