2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙසට පාකිස්තාන රජය විසින් එරට ක්රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, මෙම තරගය වර්ජනය කිරීමේ තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පාකිස්තාන රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණු අතර, එම තීරණයට ප්රතිචාර දක්වමින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්තාන අගමැතිවරයා අතර ඊයේ (09) සිදු වූ දුරකථන සංවාදයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.
ශ්රී ලංකාව ත්රස්තවාදයෙන් දරුණුතම ලෙස පීඩා විඳිමින් සිටි අවස්ථාවේදී පවා පාකිස්තානය ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවට සහාය දුන් ආකාරය ද ජනාධිපතිවරයා මෙහිදී පාකිස්තාන අග්රාමාත්යවරයාට සිහිපත් කර ඇති අතර, ඊට ප්රතිචාර ලෙසින් පාකිස්තාන අග්රාමාත්යවරයා ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය සලකා, ශ්රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගයට පාකිස්තාන කණ්ඩායම සහභාගී වීමට අනුමැතිය ලබා දෙන බවයි.









