2026 අප්‍රේල් දක්වා කාලය වෙනුවෙන් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) සඳහා මේ දක්වා අමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක් ආධාර ලැබී ඇති බව මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහාය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 35.3 ක මුදලක් අපේක්ෂා කරන මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කළ බවයි මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කරන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ජපානය, නවසීලන්තය, අමෙරිකාව, එංගලන්තය මෙන්ම යුරෝපීය සංගමය ඇතුළු විවිධ ආයතන සහ රටවලින් අරමුදල් ලැබී තිබෙනවා.
දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මේ වන විට ආපදාවට ලක් වූ පුද්ගලයන් 216,000 කට අධික පිරිසකට ප්‍රතිචාර දක්වා ඇති අතර, ශ්‍රී ලංකා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම යටතේ අධ්‍යාපනය, ආහාර, පෝෂණය, ආරක්ෂාව, සෞඛ්‍ය, නවාතැන් සහ කෘෂි කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








