ඉන්දියාවේ පැවති 12 වැනි යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලිය – 2026 ( Yong Chef Olympia – 2026) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රුමිර පියසිරි ශිෂ්‍යයා එහිදී ලෝකඩ පදක්කම දිනා ගෙන අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ශිෂ්‍යය සූපවේදීන් සදහා වන ලොව විශාලතම ගෝලීය සූපශාස්ත්‍ර තරගාවලිය වන මෙම තරගාවලිය ඉන්දියාවේ ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනය සහ ලන්ඩනයේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාර කවුන්සිලය මගින් සංවිධානය කර තිබූ අතර , එය ඉකුත් 02/01 දින සිට 02/06 දින දක්වා ඉන්දියාවේ කල්කටා නුවර ලෝකයේ රටවල් 50 ක සූපවේදී තරගකරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
මෙම තරගාවලියේ දී රුමිර පියසිරිට අවශ්‍ය මග පෙන්වීම සදහා කතිකාචාර්ය ඉමේෂිකා ද සිල්වා මෙනවිය ද ඉන්දියාවට ගොස් සිටි අතර ඔවුන් 02/08 දින උදෑසන 06.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් ඉගෙනුම ලබන සිලිට් ( SLIIT ) ආයතනයට අනුබද්ධිත කළම්බු ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ආයතනයේ විදුහල්පතිවරයා ඇතුළු එහි පරිපාලන සහ කතිකාචාර්යවරුන් පිරිසක් සහ රුමිර පියසිරිගේ දෙමාපියන් , ඔවුන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .








