තායිලන්ත මහ මැතිවරණය අද 

තායිලන්ත මහ මැතිවරණය අද (08) පැවැත්වේ.

වසර ගණනාවක දේශපාලන කැලඹිම්වලින් පසු පැවැත්වෙන මෙවර මැතිවරණයේදී තායිලන්ත ජාතිකයින් මිලියන ගණනක් ඡන්දය භාවිත කිරීමට සූදානම්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඡන්ද විමසීම මේ වන විටත් ආරම්භ වී ඇති බවය.

වසර තුනක් තුළ එරටේ තුන්වන නායකයා වන අගමැති අනුටින් චාන්විරකුල් විසින් මෙම හදිසි මහ මැතිවරණය කැඳවා තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුගේ භුමිජයිතායි පක්ෂය හෝ ඡන්ද විමසීම්වලින් ඉදිරියෙන් සිටින මහජන පක්ෂය මෙවර මැතිවරණයේදී බහුතරයක් දිනා ගනු ඇතැයි අපේක්ෂා නොකරන බවය. 

මැතිවරණ ආසන 500කින් යුත් තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර එම ආසන 500න් නීති සම්පාදකයින් 400ක් සෘජුවම මන්ත්‍රී කොට්ඨාසවලින් තේරි පත්වේ.

ඉතිරි 100 පක්ෂ ලැයිස්තු ආසන වන අතර ඒවා සමානුපාතික නියෝජනය මගින් තීරණය වන බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙවර මැතිවරණය තායිලන්තයට තීරණාත්මක මැතිවරණයක් වනුයේ පවතින දේශපාලන අස්ථාවරත්වය නිමා කිරීම සඳහාය.

පසුගිය 2025 වසරේ තායිලන්ත සහ කාම්බෝජ දේශසීමාවේදී කාම්බෝජ සොල්දාදුවෙකු මිය යාමෙන් පසු තායිලන්තය සහ කාම්බෝජය අතර යුද ගැටුම් හටගනු ලැබීය.

එම ගැටුම් මැද තායිලන්තයේ එවකට අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රා කාම්බෝජ සෙනට් සභාවේ සභාපති වූ හුන් සෙන් සමග පැවැත්වූ දුරකථන සම්බන්ධතාවයක ප්‍රතිපඵලයක් ලෙස අධිකරණ තීන්දුවකින් අනතුරුව ඇයව ධුරයෙන් ඉවත් කරනු ලැබීය.

මෙම දුරකථන ඇමතුම් තත්ත්වය හේතුවෙන්  පේටොංටාර්න්ගේ ෆියු තායි පක්ෂයේ විශාලතම සභාග හවුල්කරුවා වන භූම්ජයිතායි පක්ෂය රජයෙන් ඉවත් වූ අතර පසුව ප්‍රගතිශීලි මහජන පක්ෂය සමග ඇති කරගත් නව සන්ධානය මගින් භුම්ජායිතායි පක්ෂයේ නායක අනුටින් චාන්විරකුල් නව රජයක් පිහිටුවනු ලැබීය.

එම රජය පිහිටුවීමේදී ඇති කොන්දේසි කිහිපයක් ඇතිකරනු ලැබූ අතර එහිදී මාස කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමද තිබුණි.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී තායිලන්ත පාර්ලිමේන්තුව විසරුවා හැරීමට පියවර ගනු ලැබීය.