වැඩබිමේ දී මරුට පැරදුණු තරුණයා

කළුතර කළුතර පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ඉදිකිරිම් කටයුතු සිදු කරමින් සිටියදී කොන්ක්‍රීට් මිශ්‍රණ මැෂිමට යටවීමෙන් 24 හැවිරිදි තරුණයකු ඊයේ (06) මියගොස් ඇතැයි කළුතර පොලිසිය පවසනවා.

මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ යොවුන්ගම, ගල්ගොඩවත්ත, හල්කඳවිල, පයාගල ලිපිනයේ පදිංචිව සිටි වැලිවිට මුදලිගේ විශ්ව ප්‍රබුද්ධ (24) තරුණයායි.

මරණකරු අදාළ වැඩ බිමේ දෙවැනි මහලේ සවිකර තිබූ කොන්ක්‍රීට් මිශ්‍රණ මැෂිමෙන් සිමෙන්ති බාදාම ඉහළට අදිමින් සිටියදී එකවරම එම යන්ත්‍රය සමඟම පහත මාලයට ඇද වැටී ඇති බව පොලිසිය පවසනවා.

පසුව මෙම තරුණයා සිමෙන්ති මිශ්‍රණ යන්ත්‍රයට යටවීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

‍මෙහිදී බරපතල තුවාල ලැබූ තරුණයාව අදාල වැඩබිමේ සේවකයින් විසින් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි තරුණයා මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ සි සී ටී වී දර්ශනවල සටහන්ව ඇතිබවයි පොලිසිය සඳහන් කරන්නේ.