බේලි පාලම් 10ක කොටස් රැගෙන ඉන්දීය නෞකාවක් කොළඹ වරායට

දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ මෙරට යටිතල පහසුකම් ගොඩනැඟීම සඳහා ඉන්දීය රජයේ සහයෝගීතා වැඩසටහන යටතේ ආධාර ලබා දීම වේගවත් කර ඇති අතර එම අධාර යටතේ බේලි පාලම් 10ක කොටස් රැගෙන ඉන්දීය නාවික හමුදාවේ ‍නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

එම නෞකාවෙන් ගොඩබාන ලද, බේලි පාලම් උපාංග සහ පාලම් 10 ශ්‍රී ලංකාවේ ඉන්දීය වැඩ බලන මහකොමසාරිස් ආචාර්ය සත්‍යාංජලී පාණ්ඩේ මහතා විසින් වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාට කොළඹ වරාය බණ්ඩාරනායක ජැටියේදී නිල වශයෙන් භාර දෙනු ලැබුවේය.

මෙම උත්සවයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉන්දීය රජය විසින් ලබා දෙන මානුෂීය ආධාර වෙනුවෙන් ස්තූතිය පුදකළේය. මෙම පාලම් සවිකිරීම සඳහා පැමිණ සිටින ඉන්දීය යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ නිලධාරීන් ද අමාත්‍යවරයා මුණගැසිණි. එම නිලධාරීන් විසින් මෙම පාලම් සවිකිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට නියමිතයි.

ආපදා තත්ත්වයෙන් පසු ඉන්දීය රජයේ සහයෝගිතාව යටතේ ඉතා ඉක්මනින් පාලම් හතරක් ඉදිකළ අතර, එම කාර්යයයේදී ශ්‍රී ලංකා රජය යුධ හමුදාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ලබාදුන් සහයෝගයට ඉන්දීය මහකොමසාරිස්වරයා ස්තූතිය පුදකළ අතර, ඉන්දීය රජයේ අධාර පැකේජය අඛණ්ඩව ලබාදෙන බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී.පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඩබ්.කණ්ඩම්බි යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජේෂ්ඨ නිලධා‍රීන් ද සම්බන්ධ වූහ.