මෙරට 42 වැනි විගණකාධිපතිවරිය ලෙස පත්වූ සමුදිකා ජයරත්න මහත්මිය ජාතික විගණන කාර්යාලයේදී සිය ධුරයේ කටයුතු ඇරඹීය. ඇය ශ්‍රී ලංකාවේ පළමු කාන්තා විගණකාධිපතිවරිය ද වේ. පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (05) පෙරවරුවේ භාර දෙනු ලැබීය.
ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විගණකාධිපතිවරිය වශයෙන් කටයුතු කළ ජයරත්න මහත්මිය එම තනතුරට පත් කිරීමට පසුගිය 03දා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය හිමි විය.
මීට පෙර විගණකාධිපති ධුරයෙහි කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව ඇති වූ පුරප්පාඩුවට ජාතික විගණන කාර්යාලයේ සිටි ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය විගණකාධිපතිවරිය වූ ජයරත්න මහත්මියගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කරනු ලැබ තිබිණි.
ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ දශක දෙකකටත් වැඩි කාලයක සිට රාජ්‍ය විගණන සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ විගණන වෘත්තිකයෙක් වන ඇය විගණකාධිපති ධුරයට පත්වීමට පෙර ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ලෙස සේවය කළාය.
මෙම භූමිකාව තුළ ඇය මධ්‍යම රජයේ අමාත්‍යාංශ, රාජ්‍ය ව්‍යවසායන්, බැංකු හා මූල්‍ය අංශය, රාජ්‍ය ආදායම් පරිපාලනය, භාණ්ඩාගාර මෙහෙයුම්, රක්ෂණ ආයතන සහ දේශීය රාජ්‍ය ණය කළමනාකරණය යන අංශ ආවරණය වන විගණනයන් සඳහා උපායමාර්ගික නායකත්වය සහ අධීක්ෂණයන් සපයා ඇත.
1999 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පන්ති සාමාර්ථ සහිතව වාණිජවේදී විශේෂ උපාධිය ද, එම විශ්වවිද්‍යාලයෙන්ම 2014 වර්ෂයේදී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාද් උපාධිය ද ලබාගෙන ඇති ඇය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවකි.
2003 ජුනි 16 දින විගණන අධිකාරිවරියක් වශයෙන් සේවයට බැඳී ඇති ඇය පසුව නියෝජ්‍ය විගණකාධිපති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති වශයෙන් උසස්වීම් ලබා ඇත.
ඇය මූල්‍ය විගණන, අනුකූලතා විගණන, කාර්ය සාධන විගණන, අධිකරණ වෛද්‍ය සහ තොරතුරු තාක්ෂණ විගණන ක්ෂේත්‍රයන්හි විශේෂඥවරියකි. ශ්‍රේෂ්ඨාධිකරණය හා අනෙකුත් උසස් අධිකරණ විසින් ඉල්ලා සිටින ලද, විශේෂයෙන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය සහ දේශීය ණය කළමනාකරණය සම්බන්ධ විශේෂ විමර්ශන වාර්තා මෙන්ම 2015 පෙබරවාරි සිට 2016 මැයි දක්වා කාලය ආවරණය වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ විශේෂ විගණන වාර්තාව සකස් කිරීමට ද දායක විය.
මෙම කාර්යය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු සහ අනෙකුත් අදාළ කොමිෂන් සභා ඉදිරියේ විගණකාධිපතිවරයාට සහාය විය. ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.








