ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරයෙන් බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයට සන්දේශයක්
ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරය අද 06.02.2026 දින කොළඹ පිහිටි බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ, බංගලාදේශය තුළ ජීවත්වන බෞද්ධ භික්ෂූන්, බෞද්ධ ජනතාව සහ බෞද්ධ විහාරස්ථාන ඉලක්ක කරගෙන දිගු කාලයක් තිස්සේ සිදුවන අන්තවාදී ප්‍රහාර හා හිංසාවන්ට එරෙහිව විරෝධය පළ කරමින් සන්දේශයක් භාරදීම සිදුකළහ.
එම සන්දේශය බංගලාදේශ මහ කොමසාරිස්වරයා වෙනුවෙන් විශේෂ නියෝජිතයා වෙත භාරදීමට ගැමුණු පරපුර ජාතික ව්‍යාපාරයේ නායක සහ මහලේකම් ලහිරු වසන්ත මහතා සහ ජාතික සංවිධායක පුබුදු ගමගේ මහතා එක්වූහ.
මෙහිදී අදහස් දැක්වූ ගැමුණු පරපුර නියෝජිතයන් සඳහන් කළේ, බංගලාදේශය තුළ බෞද්ධ ආගමිකයන්ට එල්ල වන අන්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් එය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවටම බරපතළ තර්ජනයක් බවට පත්විය හැකි බවයි.
තවද, ශ්‍රී ලංකාව තුළ ද පෙරකාලීනව සිදුවූ අන්තවාදී ප්‍රහාරයකින් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික කිතුණු ජනතාවට අද දක්වාම සාධාරණය ඉටු නොවීම පිළිබඳව සිය දැඩි කණස්සල්ල ප්‍රකාශ කළහ. එමෙන්ම, අන්තවාදී ඉගැන්වීම් සිදුකරන බවට චෝදනා එල්ල වන මද්‍රසා පාසල් ක්‍රියාත්මක වීම සහ අන්තවාදී අන්තර්ගතයන් සහිත පොත්පත් තවදුරටත් රට තුළ භාවිතයට ලක්වීම පිළිබඳවද අවධානය යොමු කළහ.
බහුතර බෞද්ධ ඡන්දයෙන් තේරී පත් වූ වර්තමාන රජය විසින් බෞද්ධ භික්ෂූන්ට සිදුවන බවට චෝදනා කරන අපහාස සහ සිරගත කිරීම් දැඩි ලෙස හෙළා දක්වන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබියදී එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග දක්නට ලැබෙන බවත් ඔවුන් ප්‍රකාශ කළහ.
මෙරට බුද්ධ ශාසන අමාත්‍යංශයට සිංහල බෞද්ධ නියෝජිතයෙකු පත් කිරීමට අසමත් වීම පිළිබඳවද සිය කණගාටුව පළ කළ ගැමුණු පරපුර නියෝජිතයන්, බෞද්ධ ජනතාවගේ සහ බෞද්ධ උරුමයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළත්, ජාත්‍යන්තර මට්ටමින්ත් ඉදිරියටත් ක්‍රියාත්මක වන බව අවධාරණය කළහ.
අවසානයේ, රජයට අමතා ඔවුන් සඳහන් කළේ බෞද්ධ ආගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව හිමි ප්‍රමුඛ ස්ථානය රැකගෙන කටයුතු කරන ලෙසත්, එයට විරුද්ධව ක්‍රියා කිරීමෙන් වළකින ලෙසත් ය.













