පොහොර සහනාධාරය ලබාදීමට අවශ්‍ය සියලු මුදල් මේ වන විට නිදහස් කර ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළ පොහොර සහනාධාරයට අදාළ සියලු මුදල් ගොවි ජනතාවට ලබා දෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය.
පසුගිය දිනවල ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පොහොර සහනාධාරයට අදාළ මුදල් ලබාදීම යම් ප්‍රමාදයක් සිදුවූ බවත් ඉදිරි දින කිහිපය තුළ එය යථා තත්ත්වයට පත් කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“අනුරාධපුරේ කුඹුරු ඉඩම් ගොඩකිරීම. පහුගිය කාලේ මේ ගැන ලොකු ප්‍රශ්න ඇති වුණානේ. ඇමැතිතුමා කිව්ව විදිහට, 2024 අවුරුද්දේ නම් කුඹුරු ගොඩකරන්න කිසිම අවසරයක් දීලා නැහැ. නමුත් 2025 අවුරුද්දේ පනත ප්‍රකාරව යම් ප්‍රමාණයක් ගොඩ කිරීමට අවසර ලබා දී තිබෙනවා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන්. ඒ ඒ අයගේ ඉඩම්.
මන්ත්‍රිතුමා අහපු කාරණය නිවැරදියි. පසුගිය කාලයේදී අතයට මුදල් ගනුදෙනුත් එක්ක යම් යම් දේවල් සිදුව තිබෙනවා. අකටයුතුකම් විශාල ප්‍රමාණයක් සිදුව තිබෙනවා. ඒවා නිරීක්ෂණය වී තිබෙනවා. ඒවා නියාමනය වෙනවා. ඒ වගේම මේ වෙනකොට අලුත් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. සමහර ඉඩම් ඇත්තටම ඒවා වෙනස් වෙන්නත් ඕනෑ. ගොඩකිරීම් හරහා සිදු වන පරිසර හානිය නතර වෙන්නත් ඕනෑ. දෙපැත්තම තුලනය වන ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.
පොහොර දුන්න ප්‍රමාණයට අපි වැඩි කළා. පොහොර සහනාධාරය ලබා දෙන ක්‍රමවේදය අපි වෙනස් කළා. ඒ වගේම අතුරු භෝගවලටත් අපි පොහොර සහනාධාරය ලබාදීමට තීරණය කළා. පොහොර සල්ලි දෙන්නේ වගාව ආරම්භ කළාට පසුවයි. හැබැයි දැන් බය වෙන්න දෙයක් නැහැ, ඒ වැඩේට ඕන සල්ලි ඔක්කොම නිදහස් කරලා තියෙන්නේ.
තව දවස් කිහිපයකින් හැම ගොවියකුටම තමන්ගේ පොහොර සල්ලි ටික ලැබෙයි. යායෙන් යායට වෙනස් වෙනවා. වගා කරන කාල වකවානු වෙනස්. පොහොර මුදල් ලබාදීමේදී දෙවන මුරයේ යම් පමාවක් සිදුව තිබෙනවා. පසුගිය ආපදා තත්ත්වය ආවා. නිලධාරි හිඟයි.
ගොවියා වගාව ආරම්භ කළා කියන තහවුරුව ලබාගත යුතුයි. මේ ප්‍රමාදය අවම කරගන්න පුළුවන්. පොහොර සහනාධාරය ලබාදීමට අදාළ සියලු මුදල් මේ වන විට නිදහස් කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ සියලුම ගොවි ජනතාවට පොහොරවලට අදාළ මුදල් ලබා දෙනවා.








