“කෘත්‍රිම බුද්ධියට යන අධික පිරිවැය හමුවේ ආසියානු කොටස් වෙළඳපොළ පසුබසී”

කෘත්‍රිම බුද්ධිය (AI) වෙනුවෙන් සිදුකරන අධික ආයෝජන පිරිවැය පිළිබඳව ඇති වූ දැඩි කනස්සල්ල හමුවේ, අද (05) ආසියානු කොටස් වෙළඳපොළවල් සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබෙනවා.

විශේෂයෙන්ම තාක්ෂණික අංශයේ කොටස්වලින් ආයෝජකයින් ඉවත් වීමේ ප්‍රවණතාවක් මෙහිදී දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ.

ගූගල් සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම සිය නවතම මූල්‍ය වාර්තා නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මේ වසරේ කෘත්‍රිම බුද්ධිය (AI) සහ අනෙකුත් යටිතල පහසුකම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 175 සිට 185 දක්වා වූ දැවැන්ත පිරිවැයක් (Capital Expenditure) දැරීමට අපේක්ෂා කරන බවයි.

මෙම ඇස්තමේන්තුව විශ්ලේෂකයින් අපේක්ෂා කළ අගයට වඩා බෙහෙවින් වැඩි වීම නිසා ආයෝජකයින් තුළ බියක් හටගෙන ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස Alphabet සමාගමේ කොටස් මිල එක් අවස්ථාවකදී 6% කට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටුණා.

රිදී මිලෙහි සිදුවූ අඛණ්ඩ පසුබෑම හේතුවෙන් වෙළඳපොළේ පවත්වාගෙන ගිය මූල්‍යමය තත්ත්වයන් (Leveraged positions) තවදුරටත් අර්බුදයකට ලක්ව ඇති අතර එය කොටස් වෙළඳපොළ අස්ථාවර වීමට තවත් හේතුවක් වී තිබෙනවා.