මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මසක් තුළ උපයාගත් වැඩිම ආදායම ලෙස රුපියල් මිලියන 3,500ක මුදලක් මෙම වසරේ ජනවාරි මාසයේදී උපයාගෙන ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ‘දිනමිණට’ පැවැසීය.
වසරක් තුළ වැඩිම ආදායමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් උපයාගනු ලැබුවේ 2025 වසරේදී බව ද ඔහු කීය. එය රුපියල් බිලියන 20.3කි. ජනවාරි මාසයේ පමණක් නව වාහන 55,000ක් ලියාපදිංචි කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. නව වාහන ලියාපදිංචිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ විදේශිකයන් වෙනුවෙන් ස්ථාපිත කළ තාවකාලික රියැදුරු බලපත් ලබාදීම, වාහන හුවමාරු කිරීමේ ලියාපදිංචි කිරීම්, රියැදුරු බලපත් නිකුත් කිරීම් ආදියෙන් මෙම ආදායම් ඉලක්ක ලබාගැනීමට හේතු වී ඇතැයි ද ඔහු පැවසීය.
මෙම ආදායම් වාර්තා ඉහළ නැංවීම උදෙසා පාර්ලිමේන්තුවේ සභානායක, ප්‍රවාහන මහාමාර්ග, නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක, නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහත්වරුන් ලබා දෙන සහයෝගය ඉහළ බව කී කොමසාරිස් ජනරාල්වරයා ආදායම් වැඩි කරගැනීමට කැපවී සේවය කරන සියලු සේවකයන්ට සිය කෘතඥතාව පුදකරන බව ද කීවේය.
මේ වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට මේ වන විටත් විවිධ උපායමාර්ග යොදා ඇති බවත් එම ඉලක්ක සපුරා ගැනීමට හැකි වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
සුභාෂිණී සේනානායක








