සමස්ත ජාතියේ උන්න­තිය වෙනු­වෙන් කැපවෙමු අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය

පටු දේශ­පා­ලන අර­මුණු පසෙ­කලා සමස්ත ජාතියේ උන්න­තිය වෙනු­වෙන් අපි සිය­ලු­දෙ­නාම අත්වැල් බැඳ­ගත යුතු යුගය ඇරඹී තිබෙන බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය.

78 වැනි ජාතික නිද­හස් දිනය වෙනු­වෙන් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් අග­මැ­ති­නිය එසේ සඳ­හන් කර තිබේ.

එම නිවේ­ද­නයේ මෙසේද සඳ­හන් වේ. 78 වැනි ජාතික නිද­හස් දිනය සම­රන්නේ අලුත් නිද­හ­සක් පිළි­බඳ වූ බලා­පො­රො­ත්තු­වෙනි. සියලු ජන­තාව එක්ව ගොඩ­නැඟූ මහ­ජ­න­තා­වගේ ආණ්ඩු­වක් සමඟ අපි මේ වන­විට අලුත් මඟ­කට අව­තීර්ණ වී සිටිමු.

මානු­ෂීය ගුණාං­ග­ව­ලින් පිරි­පුන්, කුස­ලතා පූර්ණ, බුද්ධි­මත් අනා­ගත පර­පුර උදෙසා අප දේශය ගොඩ­නැ‍ඟීමේ කාර්යය මේ වන­විට රජය ආරම්භ කර තිබේ. සාර­ධ­ර්ම­ව­ලින් පිරි ශ්‍රී ලාංකේය ජාති­යක් ගොඩ­නැ‍ඟී­මට පෞද්ග­ලි­ක­වත්, සාමූ­හි­ක­වත් ඔබ සැමගේ දාය­ක­ත්වය මවු­බිම වෙනු­වෙන් ලබා දිය යුතු කාලය එළැඹ ඇත. සවි­මත් ආර්ථි­ක­මය පද­න­මක් මත රට ස්ථාවර කිරීම, නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක් හරහා දේශ­පා­ල­නය හා දේශ­පා­ල­න­ඥයා පිළි­බඳ වූ නව පර­මා­ද­ර්ශ­යක් වෙනු­වෙන් කැප­වීම, ජාති­වා­ද­යෙන් හා ආග­ම්වා­ද­යෙන් තොරව අනෙකා දෙස සමා­නා­ත්ම­තා­ව­යෙන්, ගෞර­ව­නීය හා සහ­ක­ම්ප­නීය ලෙස ජන­තාව මෙහෙ­ය­වීම, ග්‍රාමීය දුප්ප­ත්කම තුරන් කිරීම ඇතුළු ප්‍රමුඛ පර­මාර්ථ ඉටු­කර ගැනීම වෙනු­වෙන් අපි කැපවී සිටිමු.

අව­දා­න­මට ලක් වූ හා ලක් විය හැකි කිසිදු පුර­වැ­සි­යෙක් මඟ නොහැ­රෙන පරිදි අත්‍ය­වශ්‍ය සමාජ කණ්ඩා­යම් වෙත ප්‍රවේ­ශය සහ­තික කරන සුබ­සා­ධන යන්ත්‍රණ සැක­සී­මත්, නවීන විද්‍යා හා තාක්ෂණ දියු­ණුව ඔස්සේ ආර්ථි­කය ඩිජි­ට­ල්ක­ර­ණය කිරී­මට අවැසි මුල් පිය­වර තැබී­මට කට­යුතු කර­මින් ලෝකයේ සියලු රට­වල් හා ජාතීන් සමඟ වඩා විශ්ව­ස­නීය ලෙස ගනු-දෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රති­ප­ත්ති­යක් සහිත රටක් ලෙස ජාත්‍ය­න්තර ප්‍රජාව ඉදි­රියේ ශ්‍රී ලංකාව සන්නා­ම­ගත කිරීම කෙරෙහි ද රජයේ අව­ධා­නය යොමුව ඇත.

මේ සඳහා පටු දේශ­පා­ලන අර­මුණු පසෙ­කලා සමස්ත ජාතියේ උන්න­තිය වෙනු­වෙන් අපි සිය­ලු­දෙ­නාම අත්වැල් බැඳ­ගත යුතු යුගය ඇරඹී තිබේ. ඒ වෙනු­වෙන් සියලු ශ්‍රී ලාංකික ජන­තාව වඩා ශක්ති­මත්ව හා විශ්වා­ස­යෙන් යුතුව පෙළ­ගැ­සෙන ලෙසත්, පුන­රුද යුගය සඳහා වන සාමූ­හික ඇර­ඹු­මට එක්වන ලෙසත්, 78 වැනි ජාතික නිද­හස් දිනය සම­රන මෙම අව­ස්ථා­වේදී මුළු­ම­හත් ශ්‍රී ලාංකික ජන­තා­වට මම ආරා­ධනා කර සිටිමි.