පූර්ණ නිදහස සහ සංවර්ධනය ළඟා කර ගැනීමට නම් නීතියේ ආධිපත්‍යය ශක්තිමත්ව ක්‍රියාත්මක විය යුතු අතර නීතිය සැමවිටම සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටිති. අධිරාජ්‍යවාදී පාලනයෙන් නිදහස ලබා වසර 78ක් සම්පූර්ණ වන මේ මොහොතේ, ඒ වෙනුවෙන් කැපවූවන් කෘතඥතා පූර්වකව සිහිපත් කළයුතු අතර ජනතාවට ආත්මගරුත්වයෙන් යුතුව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වී තිබේද යන්න විමසා බැලීම අත්‍යවශ්‍ය වේ. රටේ වත්මන් ආර්ථික, දේශපාලනික, සමාජීය සහ සංස්කෘතික තත්ත්වයන් දෙස බැලීමේදී, රටවැසියන් බලාපොරොත්තු වන පූර්ණ සංවර්ධනයක් තවමත් අත්කරගෙන නොමැති බව පෙනී යන බැවින්, එම ඉලක්ක සපුරා ගැනීමට අවංකව කැපවිය යුතුව තිබේ. අනාගත පරම්පරාව වෙනුවෙන් ජාති, ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව එකට එකතු වී මේ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය සහ දේව ප්‍රසාදය ප්‍රාර්ථනා කරන බව උන්වහන්සේ සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර සිටිති.
නෙරංජලා වික්‍රමසිංහ








