විදුලිබල මණ්ඩලය ඈවර කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

ඒ අනුව මෙම මස අවසානය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළ අදියර 5ක් යටතේ සිදුවන අතර ඉන් අදියර 4ක් මේ වන විටත් සාර්ථකව අවසන් කර තිබේ.

මූලික පැවරුම් සැලැස්ම, වාර්ෂික විදුලි ප්‍රසම්පාදන සැලැස්ම, දිගුකාලීන ජනන සැලැස්ම, දිගු කාලීන සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම යන අදියර එලෙස අවසන් කර ඇති බව විදුලිබල මණ්ඩල පරිවර්ථන කාර්ය සාධක බළකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙහි අවසන් පියවර වන ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීම තවදුරටත් සිදුවන අතර එය පෙබරවාරි මස තෙවන සතිය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව පෙබරවාරි මාසය අවසන් වන විට ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීමේ දිනය නිල වශයෙන් ප්‍රකාශ කිරීම සිදුවනු ඇත.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්වේඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කළ පුද්ගලයින්ට වන්දි ගෙවීමේ කටයුතු ද ඒ අනුව සිදුකිරීමට නියමිතව තිබේ.

විදුලිබල සේවකයින් 2,173 දෙනෙකු ස්වේඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කර තිබු අතර ඉන් 20දෙනෙකු එම ඉල්ලා අස්වීම යළි කැඳවිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව සේවකයින් 2,153 දෙනෙකු ස්වේඡාවෙන් විශ්‍රාමයාම සඳහා අනුමැතිය හිමව ඇති අතර ඔවුන්ට හිමිවන වන්දි මුදල් ලබාදීමට නියමිතව තිබේ.