මාර්ග වේග සීමා සංශෝධනය මාර්තු 31ට පෙර

ශ්‍රී ලංකාවේ මාර්ගවල දැනට පවතින වේග සීමාවන් යාවත්කාලීන කර ක්‍රියාවට නැංවීම ලබන මාර්තු මස 31 වැනිදාට පෙර සිදු කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

එහි සභාපති මංජුල කුලරත්න ප්‍රකාශ කළේ, මේ වන විටත් වේග සීමා සංශෝධනය කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

මාර්ග ආරක්ෂාව සහ රථවාහන ගමනාගමන පහසුව සැලකිල්ලට ගනිමින් මෙම යාවත්කාලීන කිරීම් සිදු කෙරෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අනතුරු බහුල සහ ජනාකීර්ණ ප්‍රදේශ ආශ්‍රිත මාර්ග නිවැරදිව හඳුනාගෙන ඒවායේ වේග සීමා පහත දැමීම සිදු කෙරෙනවා.

නවීන මාර්ග පහසුකම් පවතින සහ බාධාවකින් තොරව ගමන් කළ හැකි මාර්ග සඳහා පවතින වේග සීමාවන් ලිහිල් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහ මාර්ග සලකුණු සකස් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිතයි.

රිය අනතුරු අවම කරගැනීම මෙන්ම මාර්ග තදබදය පාලනය කිරීම මෙම නව සංශෝධනවල මූලික අරමුණ බවද සභාපතිවරයා අවධාරණය කරනවා.