නුවරඑළියේ ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) දින සොයා ගත් බව නුවරඑලිය පොලිසියේ නිළධාරියෙකු පවසයි.
ග්‍රෙගරි වැවේ බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් පොලිසියට ලබා දුන් තොරතුරු අනුව මෙම සිරුර සොයාගෙන ඇත.
නුවරඑළිය පොලිසිය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එක්ව එම සිරුර ගොඩ ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
ජලාශයේ තිබි සොයාගත් අලුත උපන් බිලිදියගේ පෙකණි වැලේ කොටසක් තවමත් පවතින බව පොලිසිය පැවසීය.
ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට භාර දීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.








