දිවයින පුරා මාරක රිය අනතුරුවලින් තරුණයින් තුනක් ඇතුළුව පස් දෙනෙකු ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ පලෙයි, වාරියපොළ, පාදුක්ක, බුලත්සිංහල සහ එගොඩඋයන යන ප්‍රදේශවල සිදුවූ මාරක රිය අනතුරු පහකින් කාන්තාවක් සහ තරුණයින් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පලෙයි ප්‍රදේශයේ දී ටිපර් රථයක් යතුරුපැදියක් අභිබවා යාමට උත්සාහ කිරීමේදී සිදු වූ ගැටීමකින් යතුරුපැදියේ පසුපැදිකාරිය ලෙස ගමන් කළ 64 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, අනතුරුව ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එමෙන්ම වාරියපොළ, පදෙනිය – අනුරාධපුර මාර්ගයේ ඇබවලපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

තවද, පාදුක්ක, ගලගෙදර ප්‍රදේශයේදී 16 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් ඔහු මියගොස් තිබෙනවා.

බුලත්සිංහල, හොරණ – බුලත්සිංහල මාර්ගයේ දියපැරැල්ල හන්දිය අසලදී තවත් යතුරුපැදියක් අභිබවා යාමට උත්සාහ කළ 18 හැවිරිදි තරුණයෙකුගේ යතුරුපැදිය ලිස්සා ගොස් වෑන් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් ඔහු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

තවද, එගොඩඋයන, මෝදර වටරවුම අසලදී දකුණට හැරවූ ත්‍රීරෝද රථයක යතුරුපැදියක් ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.