ලංවිම ස්වෙච්ඡා ගැන්වීමේ අර්බුදය ඔඩුදුවයි

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් මේ වන විට දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

එම සේවකයින් පෙන්වා දෙනුයේ ලංකා විදුලි බල මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය අවස්ථා කිහිපයකදීම කල් දැමීම හේතුවෙන් ඔවුන් මේ වන විට මෙම අර්බුදයකට පත්ව ඇති බවය.

ලංකා විදුලි බල මණ්ඩලය විසුරවා හැරීම සඳහා පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 වැනි දිනයත් මෙම වසරේ ජනවාරි 01 වැනි දිනයත් මින් පෙර ප්‍රකාශයට පත්කර තිබුණද අවස්ථා කිහිපයකදීම මෙම දිනයන්  කල් දැමීමට සිදුව ඇති බවත් ඒ අනුව මේ වන විට විසුරුවා හැරීමේ දිනය ගැසට් නිවේදනයක් මගින් නිකුත්ව නොතිබීමත් හේතුවෙන්  පෙබරවාරි 01 දා  වන විට නියමිත ඉලක්ක මග හැරී යන ලකුණු පෙනෙන්නට ඇති බවද එම සේවයකයින් පවසයි.

මේ හේතුවෙන් එම ස්වේච්ඡා විශ්‍රාම යෑම ඉල්ලුම් කළ සේවකයින් බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව පෙන්වා දෙන එම සේවකයින් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු රජයෙන් ඉල්ලා ඇත්තේ මෙම ක්‍රියාවලිය කඩිනම් කර විදුලි බල මණ්ඩලය විසුරුවා හැරීමේ දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙසය.

ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවකයින් මේ වන විට මූල්‍යමය සහ දේපල බිඳ වැටීම්,  ඉල්ලුම් කළ විදේශ රැකියා  රැකියා අවස්ථා අහිමි වීම්, එම රැකියා සඳහා වීසා සහ නීතිමය ලේඛණ කල්ඉකුත්වීම්, නිවාස සහ පදිංචිය පිළිබඳ පිළිබඳ ගැටලු, සෞඛ්‍ය සහ ආයතනික දියුණුව අඩාල වීම සහ ආයතනය තුළ මානසික පීඩනයට සහ කොන් කිරීමට ලක්ව ඇති බවත් එම සේවකයින් පවසයි.

විදුලිබල සේවකයින්ට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්

නව විදුලි බල පනතට අනුව විදුලි බල මණ්ඩලය සමාගම් 04කට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර ඒ අනුව සියලු සේවකයින් සමාගම් 04කට අනුයුක්ත කිරීමට පියවර ගැනුණි.

ඒ අනුව අදාළ අනුප්‍රාප්තික සමාගමට අනුයුක්ත වීම ස්වකීය තේරීම නොවන සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයක් යටතේ විශ්‍රාම යාම සඳහා හිමිකම් ලැබෙන බව බලශක්ති අමාත්‍යාංශය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සඳහන් කළේය.

ඒ අනුව ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය යටතේ වන්දි මුදල් ප්‍රධානය කිරීමේ ක්‍රම පිළිබඳවද බලශක්ති අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබූ අතර එහිදී වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කළ හැකිව තිබූ ඉතිරි කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප හිමිවන බවද බලශක්ති අමාත්‍යාංශය පවසා තිබුණි.

එමෙන්ම වසර 10කට අඩු සේවා කාලයක් ඇති සේවා නියුක්තිකයින් සඳහා පසුගිය සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස 05ක වැටුප සහ සේවය කළ හැකිව තිබූ ඉතිරි කාලය සඳහා ගෙවීමක් සිදු නොකර බවද සඳහන් කළ බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබුණේ අදාළ නියෝගයට අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවකයෙකු සඳහා වන වන්දි මුදල රුපියල් ලක්ෂ 9ක අවම සීමාවකට සහ රුපියල් මිලියන 5ක උපරිමය සීමාවකට යටත්ව ගෙවීම සිදුවිය යුතු බවය‍.

ඒ අනුව ඊට අදාළ නියමයන් හා කොන්දේසි ඇතුළත් ගැසට් නිවේදනය බලශක්ති අමාත්‍යවරයා විසින් පසුගිය අගෝස්තු මස 26 වැනි දින නිකුත් කිරීමටද පියවර ගත්තේය.