කොළඹ බස් රියදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවෙන් පසු රියදුරන් රැසක් දින කිහිපයක් සේවයට ආවේ නෑ – බිමල්

කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවාවන්වල නිරත රියදුරන්ගෙන් 60% ක පමණ බරපතළ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බව මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ජංගම පරීක්ෂණාගාරයක් භාවිතා කර බැස්ටියන් මාවතේ බස් 59 ක් පමණ පරීක්ෂා කළ බවත් එහි රියදුරන් 10 ක් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවයි මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

නමුත් සත්‍ය සංඛ්‍යාව ඊට වඩා වැඩි බවත්, එම ජංගම පරීක්ෂණාගාරය භාවිත කර සිදු කළ පරීක්ෂණයෙන් පසු රියදුරන් රැසක් සේවයට නොපැමිණි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඔවුන් අතරින් ප්‍රතිකාර ලබා ගැනීමට කැමති පිරිස් වෙත ප්‍රතිකාර ලබාදෙන බවත්, නමුත් ‘චණ්ඩි පාට් දමා කටයුතු කිරීමට’ අවස්ථාව ලබා නොදෙන බවත්, මගී ප්‍රවාහනය සඳහා විධිමත් පුහුණුවක් ලබා දී විශේෂ බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.