නීපා නිසා සිංගප්පූරු ගුවන් තොටුපළවල ඇඟේ රස්නේ බලයි

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික නීපා (Nipah) වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සිය ගුවන් තොටුපළවල ආරක්ෂක පියවර දැඩි කර තිබෙනවා.

සිංගප්පූරු බෝවන රෝග පාලන ඒකකය (CDA) නිවේදනය කළේ, බටහිර බෙංගාලයේ සිට පැමිණෙන මගීන් පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ගුවන් තොටුපළවල උණ පරීක්ෂා කිරීමේ උපකරණ (Temperature Scanners) ස්ථාපනය කරන බවයි.

ගුවන් තොටුපළ පරීක්ෂාවට අමතරව, දකුණු ආසියාවෙන් පැමිණෙන සංක්‍රමණික සේවකයින් පිළිබඳ නිරීක්ෂණයද දැඩි කර තිබෙනවා.

මේ වන විට මගීන් 1,700කට අධික පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, සැක කටයුතු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දීය දේශසීමා ආසන්නයේ සහ කත්මණ්ඩු ගුවන් තොටුපළේ පරීක්ෂා කිරීම් තීව්‍ර කර තිබෙනවා.

දේශසීමා සෞඛ්‍ය පාලනය දැඩි කර ඇති අතර, ඉන්දියාවේ සිට පැමිණෙන මගීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, නිපා වෛරසය ආසාදනය වූවන්ගේ මරණ අනුපාතය සියයට 40 සිට සියයට 75 දක්වා ඉහළ අගයක් ගනු ලබනවා.

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මිනිසුන්ට බෝ වන අතර, මිනිසාගෙන් මිනිසාටද ව්‍යාප්ත විය හැකියි.

බටහිර බෙංගාලයේ දැනට වාර්තා වී ඇති තත්ත්වය රෝහල් ආශ්‍රිතව මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ අවස්ථා දෙකක් (human-to-human) බව වාර්තා වෙනවා.

වවුලන් විසින් අපවිත්‍ර කරන ලද පලතුරු හෝ රටඉඳි යුෂ පානයෙන් වැළකී සිටින ලෙසත්, මෑතකදී ඉන්දියාවේ සංචාරය කළ අයෙකුට උණ හෝ ශ්වසන අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත්, බලධාරීන් දැනුම් දෙනවා.