“තමන්ගේ තැනක්–ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක 2026 ජාතික නිවාස වැඩසටහන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගරයේදී හෙට (28) උත්කර්ෂවත් ලෙස ආරම්භ කිරීමට නියමිතය.
මෙම ජාතික නිවාස වැඩසටහනේදී ප්‍රතිලාභීන් 200කට අධික සංඛ්‍යාවකට නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ආධාර මුදල් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමැති සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ මෙය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ආරම්භ වන පළමු ව්‍යාපෘතිය බවය.
නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ දැනට ප්‍රධාන නිවාස ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වන අතර, ඉන් එක් වැඩසටහනක් යටතේ අභ්‍යන්තර අවතැන් වූවන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සිදු කෙරේ.
ඒ අනුව, යුද්ධයෙන් අවතැන් වූ උතුරු සහ නැඟෙනහිර පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස 2500ක් ඉදිකිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් පසුගියදා ආරම්භ කරන ලදි.
මීට අමතරව, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් ද විශේෂ නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
සමස්ත ජනතාවගේ නිවාස අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගනිමින්, රාජ්‍ය සේවකයන් සඳහා වෙනමම නිවාස වැඩසටහනක් සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ නිවාස ඉදිකිරීමේ ණය යෝජනා ක්‍රමයක් ද දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතාද එක්විය.
චමීර ඇල්ලදෙණිය








