හැත්තෑ අට වැනි ජාතික නිදහස් දින උලෙළ මෙවර ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ තේමාවෙන් අභිමානවත් අයුරින් සැමරීමට රජය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. නිදහස් උලෙළේ තේමාව සහ නිල ලාංඡනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගියදා එළිදැක්වීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් දින (04) උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වෙන අතර, අදාළ පෙරහුරු වැඩසටහන් මේ මස 30 වැනිදා දක්වා සිදු කෙරේ.
ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන අතර, කොළඹ අවට පාසල්වලට අවහිරයක් නොවන පරිදි මෙවර පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට සංවිධායක කමිටුව පියවර ගෙන ඇත.
නිදහස් දින සමරු උලෙළට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් පුදන සාම්ප්‍රදායික ආචාර වෙඩි මුර, නිදහස් දිනය දා මධ්‍යහ්න 12ට ගාලුමුවදොර ඉදිරි මුහුදු තීරයේදී මධ්‍යහ්න 12ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් මතදී ආචාර වෙඩිමුර පිරිනැමෙන අතර, ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ නිදහස ගත් දා සිට ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් සාම්ප්‍රදායික ආචාර වෙඩිමුර 25ක් පිරිනමනු ලබයි.








