රුපියල් කෝටි 450කට වඩා වටිනා මත්ද්‍රව්‍ය සමග කොටු වූ යාත්‍රා දෙකට සහාය වූ තවත් යාත්‍රාවක් අල්ලයි

මත්ද්‍රව්‍ය සමග දික්ඕවිට වරාය වෙත රැගෙන එන ලද චූටි පුතා සහ දෙවිඳු 01 යාත්‍රා දෙකට, මත්ද්‍රව්‍ය ලබා දීමට යොදාගත් බවට සැකකෙරෙන තවත් යාත්‍රාවක් සැකකරුවන් 5 ක් සමග මිරිස්ස වරායේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බහුදින ධීවර යාත්‍රා දෙකෙහි තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 450කට අධික බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සදහන් කළේ.

ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා ඊයේ දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවා.

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන දෙවිඳු 01 නමින් හදුන්වන පළමු බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් 05 දෙනෙකු ද සමග පසුගිය 23 වනදා අත්අඩංගුවට ගැණුණේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.

මෙම ධීවර යාත්‍රාව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සලිදු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සලිඳුගේ බවටයි සැක කරන්නේ.

මෙම සැකකරුවන් පස්දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකසහිත මිරිස්ස ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබූ චූටි මල්ලී නමැති බහුදින ධීවර යාත්‍රාවක් පසුගිය 23 වනදා රාත්‍රී 10 ට පමණ බේරුවල ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවන් 6 දෙනෙකු සමග නාවික හමුදා භාරයට ගැනුණා.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 40 ත් අතර වයස්වල පසුවන අම්බලන්තොට සහ තංගල්ල – නාකුළුවැව ප්‍රදේශවල පදිංචිකරුවන්.