වතු කම්කරුවන් සඳහා වැඩි කළ රුපියල් 1750 වැටුප පෙබරවාරි මස 10 වැනි දින දෙන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය. නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ ගොඩකවෙල සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“වතු කම්කරු ජනතාව වෙනුවෙන් 2026 වර්ෂයේ අය-වැයෙන් වැටුප් වැඩි වීමක් දෙන බව ප්‍රකාශ වුණා. වැඩි කළ එම මුදල් තවමත් දී නැති බව කියමින් විවිධ පිරිස් විවිධ කතා කියනවා. කම්කරු ජනතාව මේ වර්ෂයේ ජනවාරි මස පළමු දින සිට කළ සේවයට ඔවුන්ගේ අතට වැටුප් ලැබෙන්නේ පෙබරවාරි මස 10 වැනිදා. එනිසා ජනතාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිනවා. මූලික වැටුප සඳහා රුපියල් දෙසීයක මුදලක් වතු සමාගම මඟින් වැඩි කර දෙනවා. රජයෙන් පැමිණීමේ දිරි දීමනාව ලෙස දිනකට රුපියල් දෙසීයක මුදලක් දීමට නියමිතයි.”








