ඩයනා ගමගේට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 16 කැඳවීමට නියෝග

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ, හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 16 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

2016 ජූලි 14 වැනිදා සිට 2020 නොවැම්බර් 01 වැනිදා අතර කාලසීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින්, නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා හතක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය ඇමැතිනියට එරෙහිව චෝදනා හතකට අදාළව මෙම නඩුව ගොනු කර තිබෙනවා.