සයිබර් අපරාධකරුවන් 318ක් අත්අඩංගුවට

ඉකුත් 2025 වසරේ සයිබර් අපරාධවලට අදාළව පුද්ගලයින් 318 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

පසුගිය වසරේදී සයිබ අපරාධ 2,000කට අධික ප්‍රමාණයක්ද වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම සයිබර් අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ මෙරට තරුණ ප්‍රජාව, සහ වැඩිහිටි ප්‍රජාව බවත් පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අන්තර්ජාලයට අලුතින් ප්‍රවේශවන පිරිස්ද මෙම අපරාධකරුවන්ගේ ඉලක්කය වී ඇති බවයි.

එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන සිය මුරපද සහ පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශ්වයන් වෙත ලබා දීමෙන් වැළකී සිටිය යුතු බවයි අවධාරනය කරන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

“යම් කිසි කෙනෙකු ඔබ හා සම්බන්ධ වෙන්න පුළුවන් ඉතාම ප්‍රසිද්ධ නමක් ඇති චරිතයක් විදිහට, ප්‍රසිද්ධ ආයතනක නමකින් ඔබ හා සම්බන්ධ වෙලා ඔබගේ දුරකථන අංකය, ඔබගේ මුරපදයන් සහ ඔබගේ OTP අංකයන් සමග සම්බන්ධ වී ඔබගේ මුදල් ඉවත් කරගන්නට පුළුවන්. ඒ වගේම ඔබ ලක්ෂපතියෙකු වීමට වරම් ඇත, ලක්ෂ ගණනක ලොතරැයියක් දිනා ඇත කියන පණිවුඩය සමගින් රැවටීමකට භාජනය කරලා තිබෙනවා. එම ලක්ෂ ගණනක මුදල් ත්‍යාගය ගන්නට නම් ඔබ මේ ක්‍රමවේදය අනුගනමය කළ යුතු බව කියලා මගපෙන්වනවා. මොකක්ද අනුගමනය කළ යුතු ක්‍රමවේදය ? ඔබගේ OTP අංකය, ඔබගේ පුද්ගලික තොරතුරු, ඔබගේ බැංකු තොරතුරු හෙළිකර ගන්නවා. මේවා පුනපුනා කිව්වත් ඇතැම් අම්මලා, තාත්තලා සහ තරුණ කොටස් මහන්සියෙන් හම්බකරලා තියෙන මුදල් අපරාධකරුවෙකුට, දූෂිතයෙකුට ලබා දීලා තිබෙනවා”