තුර්කියට රික්ටර් මාපක 5.1ක භූමිකම්පාවක්

බටහිර තුර්කියේ බලකේසිර් (Balikesir) පළාත කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් අද (24) අලුයම 00:24ට පමණ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම භූමිකම්පාව පොළොව මතුපිට සිට කිලෝමීටර් 11.04ක් ගැඹුරින් ඇතිවී තිබෙන බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙය බුර්සා (Bursa), ඉස්මීර් (Izmir), යලෝවා (Yalova) සහ කුටාහ්යා (Kutahya) යන පළාත්වලට ද තදින් දැනී තිබෙනවා.

කෙසේ වෙතත්, බලකේසිර් ආණ්ඩුකාර ඉස්මයිල් උස්ටාවොග්ලු ප්‍රකාශ කළේ, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ විශාල දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි.

තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) වහාම ක්‍රියාත්මක වී ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.