ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් තුළින් රියදුරන්ගේ මත්ද්‍රව්‍යය භාවිතය පරාජය කරනවා – ප්‍රවාහන ඇමති

මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් තුළින් පොදු ප්‍රවාහනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ වැඩසටහන දීප ව්‍යාප්තව සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

හෙතෙම මේ අදහස් පළ කළේ ඊයේ (2026.01.23) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“මත්පැන් සහ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ප්‍රවාහන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට ලක්ව තිබෙනවා. ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අවදානම් රිය ධාවනයට හේතුවන විෂ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් පොලිසිය, බස් සංගම් ඇතුළු අදාල ආයතන එක්ව මතින් තොර ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම අවශ්‍යයි. ඒ සඳහා ප්‍රායෝගික, විද්‍යාත්මක, නෛතික ක්‍රියාවලියක් පසුගිය කාලයේ පැවතියේ නැහැ. නමුත් වත්මන් රජය මේ සඳහා තිරසර ජාතික සැලැස්මක් යටතේ කටයුතු කරමින් සිටිනවා. මත්ද්‍රව්‍ය භාවිත කර රියදුරු වෘත්තීයේ යෙදෙන්නන් අහඹු ලෙස පරීක්ෂා කිරීමේ නෛතික බලය මේ වන විට පොලිසියට ලබාදී  තිබෙනවා.

පොදුවේ සහ රියදුරන්ගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය කර ජංගම රසායනාගාර සේවා මගින් පරීක්ෂා කිරීම් කොළඹ බැස්ටියන් මාවතෙන් ඊයේ දින ඇරඹුවා. එදින පරීක්ෂා කල  පනස් නමයෙන් දහ දෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතා කර ඇති බව තහවුරු වීම සංකීර්ණ තත්ත්වයක්.

මේ ප්‍රමාණය කියන්නේ හයෙන් පංගුවක්. මෙය අතිශය බරපතල තත්ත්වයක්. මගීන් සිය ගණනකගේ ජීවිතවල වගකීම දරාගෙන ධාවනයේ යෙදීම බරපතළ අනාරක්ෂිත තත්ත්වයක්.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද මීට සක්‍රීයව දායක කර ගනිමින් මේ දරුණු තත්ත්වය හැකි ඉක්මනින් පරාජය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා සියලු දෙනා නීතිය පිළිබඳ දැනුවත්කමින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් බස් හිමියන්, රියදුරු, කොන්දොස්තරවරුන් සහ මගී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාතික වැඩසටහන  සාර්ථක කර ගැනීමට දායක වන ලෙසයි. බහුතර සේවක පිරිසක් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගෞරවාන්විත සේවාවක නිරත වෙනවා. නමුත් සියයට දාසයක විස්සක් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිය වෘත්තීය මට්ටම පහලට දමාගෙන තියෙනවා. මේ තත්ත්වය රටට, ආර්ථිකයට පමණක් නොවෙයි ඔවුන්ගේ පවුල්වලට දරුවන්ට සමාජ තත්වයන්ටත් හානිකර ලෙස බලපානවා බස්,  කර්මාන්තයක් ලෙස පවත්වා ගැනීමට එය ආර්ථිකයට ලබා දෙන දායකත්වය ස්ථාවර කර ගැනීමට වෘත්තීය ගරුත්වය ඇති පිරිසක් සමග කටයුතුු කිරීම  අවශ්‍ය වෙනවා. ඒ සඳහා විධිමත් ආරක්ෂිත වැඩපිළිවෙලක් අවශ්‍යයි.

මගී ප්‍රවාහන සේවාව ජනතා පිළිගැනීමක් සහිත ගුණාත්මක සේවාවක් ලබා දෙන ව්‍යාපාරයක් බවට පත් කල යුතු වෙනවා. 2025 වසරේ රිය අනතුරු වලින් 2700 කට වැඩි පිරිසක් මිය ගියා. වැඩිම හානි සිදු වුණේ පදිකයන්ට හා  යතුරු පැදිකරුවන්ට. යතුරුපැදිකරුවන් පදිකයින් 1800කට ආසන්න පිරිසක් මිය ගියා. ඒ අය ආර්ථික හා සාමාජීය වශයෙන් අසරණ වූ අය. එම නිසා බස් හිමියන් ලෙස වගකීමක් තියෙනවා තමන් ළඟ මත්ද්‍රව්‍ය භාවිතා කරන පිරිස් සිටී නම් ඉවත් කරන්න. ශාරීරික යෝග්‍යතා ඇති පිරිස් පුහුණු කර සිය බස් කාර්මාන්තයට දායක කරගන්න.

මුළු රටටම ව්‍යසනයක් වී ඇති මත් ද්‍රව්‍ය තුරන් කිරීමට රජය උපරිම ලෙස මැදිහත් වෙනවා. එහිදී බස් හිමියන්ට, බස් සංගම්වලට අවශ්‍යනම් නොමිලේ රසායනාගාර පහසුවක් ලබාදීමට හැකියාව තිබෙනවා. රිය අනතුරුවලින් සියයට පනස්තුනක්ම සිදුවන්නේ රියැදුරන්ගේ වරදින්. අපරීක්ෂාකාරී ධාවනයෙන්. මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් මගී ප්‍රවාහන රථවල සේවකයන් විදියට යොදා නොගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. මිනිසුන් රකින රජයක් ලෙස මුළු රාජ්‍ය යාන්ත්‍රයේම ශක්තිය යොදා පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව තහවුරු කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.

 -ෙමෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා

රිය අනතුරු නිසා දිනකට ජීවිත හතක් අටක් පමණ අපේ රටට අහිමි වෙනවා. මේක බරපතල තත්වයක්. 2026 වසරේ දී පුළුල් නීතිමය පරාසයක් තුළ අනතුරු නිවාරණ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රියදුරු වෘත්තියේ යෙදෙන සියලු දෙනා නීතියේ රැහැනට හසු කරගනු ලබනවා. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරදීම රජයේ වගකීමක්. නීතිය සියලු දෙනාටම සමාන ලෙස සලකා කටයුතු කරන ලෙස පොලිසිය දැනුවත් කර තිබෙනවා. රියදුරන් පරීක්ෂා කරන්න, වැටලීම් අඛණ්ඩව දියත් කරන්න පහසුකම් ලබා දී තිබෙනවා. 2026 වසරේ සිදුකළ වැටලීම්වලින් පසුගිය දින 22 ට විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 480 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලසීමාව තුළ මාර්ග අනතුරු 135 ක් සිදුවී තිබෙන අතර දින විසිදෙකට රියදුරන් පහළොස් දෙනෙකු සහ පදිකයින් පනස් දෙනකු මිය ගොස් තිබෙනවා. මේ තත්ත්වය වහාම නතර කිරීමට විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. එබැවින් සියලුම බස් රථ හිමියන් තමන් බඳවාගෙන සිටින සේවකයින් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක පිරිස් ද නිරන්තර පරීක්ෂාවට ලක් කරනවා.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘ඉවත් වෙනු’ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන මගින් 2026 වසර තුළ තීරණාත්මක මංසන්ධියක් පසු කිරීමට නියමිතයි. ගරු ජනාධිපතිතුමා පසුගිය වසරේදී මේ සඳහා ජාතික සභාවක් පිහිටුවා ශක්තිමත් ප්‍රවේශයක් ලබා දුන්නා.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ රුධිර සාම්පල, මූත්‍රා  සාම්පල පරීක්ෂණ ක්‍රමවේදයට අමතරව ඛේට සාම්පල පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියක්ද මේ වනවිටත් ආරම්භ කර තියෙනවා. පවතින නීතිවලට අමතරව අවශ්‍ය වුවහොත් නීති සංශෝධනය කිරීමට පියවරගන්නවා. එමෙන්ම බැටලීම් සඳහා අවශ්‍ය නිලධාරීන් තාක්ෂණික උපකරණ ලබාදීමට කටයුතු කරනවා පුළුල් ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් විනයවත් ශික්ෂණයක් සහිත වෘත්තියම රියදුරුකු නිර්මාණය කිරීමට රජයේ පූර්ණ දායකත්වය ලබා දෙනවා.