ලයිට් කණුවේ කුඩු හංඟන මත් ජාවාරමෙක් දැලේ

කඩුගන්නාව ප්‍රදේශයේ මත්කුඩු බෙදා හරින ප්‍රධාන ජාවාරම්කරු ඊයේ (22) අලුයම 1.00 ට පමණ යතුරු පැදියකින් ගොස් ගැනුම්කරුවන්ට ලබා ගැනීම සඳහා විදුලි කණු අසළ මත්කුඩු පැකට් සඟවමින් සිටියදී හෙරෝයින් ග්‍රෑම් 30 ක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා.

විදුලි කණු අසළ මත්කුඩු පැකට් සැඟවීමෙන් පසු සැකකරු ඒවාහි ඡායාරූප ලබාගෙන ගැනුම්කරුවන්ගෙන් මුදල් ලැබුණු පසු අදාළ ඡායාරූප ඔවුන්ට යවා එම ස්ථානවලින් මත්කුඩු පැකට් ලබා ගන්නා ලෙස දැනුම් දෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබුණා.

මහනුවර ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත්තේ එක් මතුකඩු පැකට්ටුවක් ඔහු රුපියල් 5000 ක මුදලකට අළෙවි කරන බවයි.

ඔහුගෙන් මත්කුඩු පැකට් ලබා ගන්නා පුද්ගලයින් ඒවා යළි කොටස් තුනකට වෙන්කර එක පැකට්ටුවක් රුපියල් 3000 ක මුදලකට අළෙවි කරන බවද පොලිස් පරීක්ෂණ මගින් හෙළි කරගෙන තිබෙනවා.

මත්කුඩු බෙදා හැරීම සඳහා යොදාගත් යතුරුපැදිය හා ජංගම දුරකතනය ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, සහකාර පොලිස් අධිකාරි සෙනෙවිරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරින්ද්‍ර කළුගම්පිටිය ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරනවා.