ඇස් රෝහලේ වැඩ වර්ජනයෙන් රෝගීහු දැඩි අපහසුතාවට

වෛද්‍යවරුන් දෙදෙනකුට ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ තත්වයක් මුල්කර‍ගෙන කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22) ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීහු දහස් ගණනක් දැඩි අපහසුතාවට පත්වූහ.

මෙම වැඩ වර්ජනය ඊයේ (22) උදෑසන 8.00ට ආරම්භ කළ අතර අද (23) උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

වර්ජනයෙන් රෝගීන් අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන් සිය සංගමයේ කනගාටුව ප්‍රකාශ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ‘දිනමිණ’ට ඊයේ (22) පැවසීය.

රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඔහු කීය. වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් දෙදෙනකුට ස්ථාන මාරු ලබාදීම අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියාවක් බවද ඒ මහතා පැවසුවේය.

පෙබරවාරි මස 02 වැනිදා සිට වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට තිබියදී එය උල්ලංඝනය කරමින් අදාළ අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇතැයි ද හෙතෙම කීය.

ස්ථාන මාරු මණ්ඩල සමඟ සාකච්ඡා කර වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවත් එය උල්ලංඝනය කරමින් මෙම අධ්‍යක්ෂවරයා කර ඇති ස්ථාන මාරු සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.