ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රිය සමාජ මාධ්‍ය සමාගමක් වන චීනයේ ByteDance සමාගම සතුව ඇති TikTok සමාජ මාධ්‍ය යෙදවුම අමෙරිකාවේ බහුතර හිමිකාරිත්වයක් සහිතව ඒකාබද්ධ කිරීම සඳහා වන ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව, TikTok ඇමරිකානු මෙහෙයුම් පාලනය කිරීම සඳහා නව හවුල් සමාගමක් ස්ථාපිත කර ඇති අතර, එහි 80.1% ක බහුතර කොටස් ඇමරිකානු සහ ජාත්‍යන්තර ආයෝජකයින් සතු වන අතර එයට Oracle, Silver Lake සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ MGX යන සමාගම් ඇතුළත් බවයි සඳහන් වන්නේ.
එසේම 19.9% ක සුළු කොටස් අයිතියක් TikTok සමාජ මාධ්‍ය අයත් චීනයේ ByteDance සමාගමට හිමි වී ඇති අතර, මෙම නව ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය මීට පෙර TikTok හි ඇමරිකානු පරිශීලක දත්ත සුරක්ෂිත කිරීමේ අංශයට නායකත්වය දුන් Adam Presser වෙත හිමිව තිබෙනවා.
ඇමරිකානු පරිශීලකයින් මිලියන 200 කගේ දත්ත සුරක්ෂිත කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට එකඟතාව පළ කර ඇති අතර, සියලුම ඇමරිකානු දත්ත Oracle සමාගමේ Cloud පද්ධති තුළ ගබඩා කෙරෙන බවයි සඳහන් වන්නේ.
එසේම, TikTok Algorithm ඇමරිකානු දත්ත මත පදනම්ව යළි පුහුණු කිරීමටත්, එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් පියවර ගෙන ඇති අතර, අන්තර්ගතයන් නියාමනය කිරීමේ වගකීම ද මෙම නව ඇමරිකානු හවුල් ව්‍යාපාරය සතු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ByteDance සමාගම එහි මෙහෙයුම් අමෙරිකානු ආයෝජකයින්ට විකිණීමට අපොහොසත් වුවහොත්, පසුගිය 2025 වසරේ ජනවාරි මාසයේදී අමෙරිකාවේ TikTok තහනම් කිරීමට නියමිතව තිබුණා.








