අද කාලගුණ නිවේදනය

අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව සහ වයඹ පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.