විශ්වාසභංගයට අත්සන් නොකළ මන්ත්‍රීවරුන්ට පහරදීමේ සැලසුමක්

සමගි ජන බලවේගය විසින් ගෙන ඒමට උත්සාහ කළ විශ්වාසභංගයට අත්සන් නොකළ මන්ත්‍රීවරුන්ට පහර දීම් සිදු කිරීමට දරන උත්සාහයන් සම්බන්ධයෙන් කරුණු වාර්තා වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ අවධාරණය කළේය.

දරුවන් වෙනුවෙන් ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උපයෝගි කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් විසින් බලය ලබාගැනීම උදෙසා බංකොලොත් උත්සාහයක නිරතවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

නිවැරදි තර්කයක් හෝ ප්‍රතිපත්තියක් මත පදනම්ව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේනම් ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බව ද ඇමතිවරයා කීය.

හය ශ්‍රේණියේ දරුවන්ට විවෘත වීමට තිබූ අධ්‍යාපනයේ නව දොරටුව වසා දැමීමේ සහාසික උත්සාහයක මෙම පිරිස නිරතවූ බවත් ජනතාව කුපිත කරමින් තම දේශපාලන අරමුණු ඉටුකරගැනීම උදෙසා ජනතාව පෙළ ගස්වා ගැනීම වෙනුවෙන් විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම උත්සාහ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම මහතා ඇතුළු සමගි ජන බලවේගයේ කණ්ඩායම කුඩා පිරිස් යොදා ගනිමින් රට පුරා කුඩා කුඩා විරෝධතා සිදුකළද විශ්වාසභංග යෝජනාවට නිසි පරිදි අත්සන් ලබාගැනීමට පවා එම කණ්ඩායමට නොහැකි වූ බවද හෙතෙම පැවසීය.

විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකර හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ මන්ත්‍රීවරුන්ට සිය කෘතවේදීත්වය පිරිනමන බවද ඇමතිවරයා කීය. එල්ලීමට වැල් නොමැතිව සිටින විපක්ෂය බලය ලබාගැනීම වෙනුවෙන් විවිධ උත්සාහයන් දැරුවද එය සාර්ථක නොවන බවද හෙතෙම පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් මහතාට ව්‍යවස්ථා දායක සභාව පදනම් කරගනිමින් දයාසිරි ජයසේකර මහතා එල්ල කළ චෝදනාව එවැනි චෝදනාවක් වියහැකි බව ද අමාත්‍යවරයා කීය. සමගි ජන බලවේගය විසින් ගෙනඒමට උත්සාහ කළ විශ්වාසභංගයට විරුද්ධ වූ අනෙකුත් මන්ත්‍රීවරුන්ට ද පහරදීම් සිදුවිය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

හයේ ශ්‍රේණියේ දරුවන්ගේ කර මතින් හෝ බලය ලබාගැනීමට මෙම පිරිස දරන බංකොලොත් උත්සාහය හෙළා දකින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. අධ්‍යාපනය පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.