යුද ගිනි නිවන්නට අමෙරිකාව, රුසියාව සහ යුක්‍රේනය ප්‍රථම වරට එකම මේසයකට

වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ ඇවිලෙමින් පවතින රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඉතිහාසයේ ප්‍රථම වතාවට අදාළ පාර්ශවයන් එකම සාකච්ඡා මේසයකට ගෙන ඒමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමත්ව තිබෙනවා.

ඒ අනුව, අද (23) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවරදී මෙම ඓතිහාසික සාකච්ඡා ආරම්භවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ස්විට්සර්ලන්තයේ දාවෝස්හි පැවති ලෝක ආර්ථික සමුළුව අතරතුර යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

එහිදී සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ යුක්‍රේනයට ලැබෙන ආරක්ෂක සහතිකයන් පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණ ඇති බවත්, පශ්චාත් යුද ආර්ථිකය ගොඩනැගීමේ සැලැස්ම ද සූදානම් බවත්.

අමෙරිකානු සාම නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සඳහන් කරන්නේ දෙපාර්ශවය අතර පවතින ගැටලුවලින් බොහොමයක් මේ වන විට විසඳා ඇති බවයි.

අමෙරිකානු නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් ඊයේ රාත්‍රියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී දීර්ඝ සාකච්ඡාවක නිරතව තිබෙනවා.

මොස්කව් සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකානු නියෝජිතයින් අබුඩාබි වෙත පැමිණි අතර, එහිදී යුක්‍රේන සහ රුසියානු හමුදා ප්‍රධානීන් අතර ‘හමුදාමය මට්ටමේ’ (Military-to-military) සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

භූමියේ අයිතිය (Territory) සම්බන්ධයෙන් පවතින අවසන් එකඟතාවය මෙම සාකච්ඡාවල සාර්ථකත්වය තීරණය කරනු ඇති.

ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ “මෙම යුද්ධය දැන් අවසන් විය යුතු” බවයි.

මෙම අබුඩාබි සාකච්ඡා වටය ලෝක සාමය උදෙසා තැබූ දැවැන්තම පියවරක් ලෙස විදේශ විචාරකයින් හඳුන්වනවා.