ශ්‍රී ලාංකිකයන්ගේ අමෙරිකානු වීසා ගැන තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

අමෙරිකා එක්සත් ජනපදය බලා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා එරට වීසා නීති සම්බන්ධයෙන් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා.

විශේෂයෙන්ම B1 සහ B2 (Visitor Visa) වීසා කාණ්ඩ යටතේ අමෙරිකාවට ඇතුළු වන පුද්ගලයන් එහිදී රැකියාවල නිරත වීම සම්බන්ධයෙනුයි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත්තේ.

තානාපති කාර්යාලය පැහැදිලි කරන්නේ මෙම වීසා කාණ්ඩය යටතේ ව්‍යාපාරික කටයුතු කිහිපයකට පමණක් අවසර ලැබෙන නමුත් ‘සේවය කිරීම’ සඳහා අවසර නොමැති බවයි.

ඒ අනුව, ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීම, ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, වෘත්තීය සමුළුවලට සහභාගී වීම සහ සංචාරක කටයුතුවලට අවසර ලැබෙන නමුත්, අමෙරිකාව තුළ කිසිදු ආකාරයක වැටුප් සහිත හෝ රහිත රැකියාවක නිරත වීමට අවසර නොමැත.

යම් හෙයකින් සංචාරක වීසා මගින් ඇතුළු වී අනවසරයෙන් රැකියාවල නිරත වුවහොත් ගත හැකි දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව ද තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

එසේ සිදුකළ අදාළ පුද්ගලයින් වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවට සඳහන්.

එසේම ඔවුන්ට නැවත කිසිදු දිනක අමෙරිකාවට ඇතුළු වීමට නොහැකි වන පරිදි ස්ථිර වීසා තහනමකට (Permanent Ban) ලක්වීමට ඉඩ තිබෙනවා.

අමෙරිකාවට ඇතුළු වීමට පෙර තමන් ලබාගෙන ඇති වීසා වර්ගය සහ ඒ යටතේ කළ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මනාව දැනුවත් වන ලෙසයි තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.