නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්න – නීතිඥ සංගමය

නීතිපතිවරයා ඉලක්ක කර ගනිමින් මෑතකාලීන ව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් පිළිබඳ ව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

ඒ අනුව මෙම සමාජ මාධ්‍ය සටහන් මඟින් පුද්ගලයින් නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට උත්සාහ දරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරන්නේ.

අපරාධමය නඩු කටයුතුවලට අදාළ ව නීතිපතිවරයා අර්ධ අධිකරණමය හෙවත් (quasi-judicial) කාර්යභාරයක් ඉටු කරන බවත්, විමර්ශන නිලධාරීන් තමන් වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් කර ගෙන, සැකකරුවෙකුට එරෙහි ව චෝදනා ගොනු කරන්නේ ද නැද්ද යන්න හෝ අධිචෝදනා ඉදිරිපත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ ව නීතිපතිවරයා තීරණය කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් වනවා.

එහිදී අදාළ කරුණු නීත්‍යානුකූල ව පිළිගත හැකි සාක්ෂි ද යන්න සහ එම කරුණු මත පදනම් ව වරදකරු කිරීමේ සාධාරණ සම්භාවිතාවක් පවතින්නේ ද යන්න සලකා බැලීමට නීතිපතිවරයාට සිදු වන බවත්, නීතිපතිවරයාගේ තීරණ අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මඟින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මඟින් සමාලෝචනය කළ හැකි බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මඟින් පෙන්වා දී තිබෙනවා.

සෑම පුරවැසියෙකුටම නීතිපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන්ගේ තීරණ විවේචනය කිරීමට අයිතියක් ඇති අතර, එය නීතිපති ධුරයේ ස්වාධීනත්වයට හානි නොවන පරිදි සහ නීතියේ ආධිපත්‍යයට අගතියක් නොවන පරිදි සිදු කළ යුතු බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස නීතිඥ සංගමය රජයෙන් සහ නීතිය බලාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්. news images news images