රුපියල් බිලියන 904ක ආදායමක්
වාහන 451,770ක් ආනයනය කරලා
වාහන ආනයනයෙන් රුපියල් බිලියන 441ක ආදායමක් රජය බලාපොරොත්තු වුවත් මේ වන විට රුපියල් බිලියන 904ක ආදායමක් හිමි වී තිබේ.
වාහන ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව මේ වන විට වාහන 451,770ක් ආනයනය කර තිබෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) අනාවරණය කළේය.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
එලෙස ආනයනය කර තිබෙන වාහන අතර ත්‍රිරෝද රථ 22,407ක් යතුරුපැදි 313,989ක් වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
වාහන ආනයනය කිරීම හේතුවෙන් රුපියල් බිලියන 463ක අමතර බදු ආදායමක් රජයට ලැබී ඇති අතර රජය අපේක්ෂා කර ඇති බදු ආදායම රුපියල් බිලියන 441ක් බවත් එසේ වුවද වාහන ආනයනය තුළින් ලැබී තිබෙන බදු ආදායම රුපියල් බිලියන 904ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බදු ආදායම වර්ගීකරණය කිරීමේදී රේගු අධිභාරය ලෙස රුපියල් බිලියන 66ක් අපේක්ෂා කර ඇති අතර ලැබී ඇති එම අධිභාරය රුපියල් බිලියන 147ක් බවයි. එමෙන්ම එකතු කළ අගය මත බද්ද ලෙස රුපියල් බිලියන 234ක් ලැබී ඇති අතර රජය අපේක්ෂා කර ඇති එම බද්ද රුපියල් බිලියන 132ක් වේ. නිෂ්පාදන බද්ද ලෙස අපේක්ෂා කළ රුපියල් බිලියන 230 වෙනුවට රුපියල් බිලියන 461ක් ලැබී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. අපේක්ෂිත හිමිකම් ගාස්තු රුපියල් බිලියන 1ක් වූ නමුත් බිලියන 2ක් ලැබී තිබේ. සුඛෝපභෝගී බද්ද ලෙස රජය අපේක්ෂා කර ඇත්තේ රුපියල් බිලියන 10ක් වුවද එම බද්ද ලෙස රුපියල් බිලියන 55ක් ලැබී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම වරාය හා ගුවන්තොටුපළ බද්ද ලෙස රුපියල් බිලියන 2ක් අපේක්ෂා කර තිබෙන අතර බිලියන 4ක් ලැබී තිබේ.
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර








