තුසිත හල්ලොලුවට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව හා තවත් දෙදෙනෙකු ගමන් ගත් ජීප් රථයට වෙඩි තැබූ බවට පවසන සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ඊයේ (19) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ ප්‍රදේශයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරු වයස අවුරුදු 30 ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු 2025 ජනවාරි 18 වැනිදා කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ රාත්‍රී සමාජ ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමට ද පැමිණි බවත්, එය ව්‍යර්ථ වීමෙන් පසු වෙඩි තැබීමට රැගෙන ආ ගිනි අවිය යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රැගෙන ගිය බවත් ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.