ජින්තුපිටියේ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් 05 දෙනෙක් අත්අඩංගුවට

ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර, කුඩා දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, ඊයේ (19) සහ පෙරේදා (18) දිනවලදී වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජින්තුපිටිය හා කොටහේන ප්‍රදේශවල සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 800 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් ද එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාරිය අවුරුදු 49 ක් වන අතර, සැකකරුවන් අවුරුදු 18, 33, 40 හා 43 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි සඳහන් වන්නේ.

සැකකාරිය හා සැකකරුවන් ඊයේ (19) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඉන් එක් සැකකරුවෙකු සඳහා 23 වැනිදා දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බවත්, අනෙක් සැකකාරිය හා සැකකරුවන් එළඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.