විමල් ඇතුලු හය දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 9 යළි කැඳවයි

2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු 9 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද(19) නියෝග කළා.

සිද්ධියට අදාලව 6 වන සහ 7 වන සාක්ෂිකරුවන් අධිකරණයේදී සාක්ෂි ලබා දුන්නා.
එම දින පිටකොටුව පිළියන්දල සහ හෝමාගමට බස් රථ ධාවනය කරන ලද බස් රථ රියදුරුන් දෙදෙනෙකු එසේ අධිකරණයේදී සාක්ෂි ලබාදෙනුු ලැබුවා.

මෙම නඩුවේ 6 සහ 7 සාක්ෂිකරුවන් වන එම රියදුරන් දෙදෙනා සාක්ෂි ලබා ලබා දෙමින් ප්‍රකාශ කළ සිටියේ මහ මාර්ගය අවහිර වන ආකාරයෙන් මෙම සැකකරුවන් උද්ඝෝෂණයක නිරතවීම නිසා බස් රථ ධාවනය ප්‍රමාද වූ බවත් බස් රථයේ සිටි මඟීන් බැස ගිය බවත්ය.

තවද මෙම සිද්ධියට අදාලව තවත් සාක්ෂිකරුවන් අධිකරණයේ සාක්ෂි දීමට සිටීද යන්න මහේස්ත්‍රාත්වරයා අධිකරණයෙන් විමසා සිටියා.

එසේම මෙම සිද්ධියට අදාලව සැකකරුවන් අත්අඩංගුවට
ගැනිම ඇතුලු මූලික විමර්ශන සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමක් විමර්ශන නිලධාරීන් විසින් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වුවා.

ඒ අනුව සිද්ධියට අදාලව මුලික සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරියෙක් මේ වනතෙක් නම් කර නැති බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැන්වුවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට කුරුඳුවත්ත පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට නොතිසි නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබුණා.

ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණය පැවැත්වුණා.

විත්තිකරුවන් වන හිටපු ඇමති විමල් වීරවංශ මහතා, වීරකුමාර දිසානායක මහතා, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන අය අද අධිකරණය හමුවේ පෙනී සිටියා.