රනිල්ගේ නඩුව දා උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියකුට පහර දුන් බවට චෝදනා එල්ල වු හිටපු මන්ත්‍රි පෙර ඇප මත මුදා හරී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ පැවැති උද්ඝෝෂණයකට සහභාගී වෙමින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකුට පහරදුන් බව කියන හිටපු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රිවරයා පෙර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (19) නියෝග කළා.

එමෙන්ම මෙම සිද්ධියට අදාලව සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණය භාරයේ ඇති නඩු භාණ්ඩ විධිමත් ලෙස මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වන ලද නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයට යොමු කිරිමනේ අනතුරුව අද පළමු වරට කැඳවනු ලැබුවා.

එහිදි ඇප මත මුදා හරින ලද සැකකරු වන දෙහිවල ගලිකිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් වන ධනුක සීවලී හෙට්ටිගේ යන අය මෙලෙස පෙර ඇප වන රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැරිණා.

නඩු ගොනුවට අදාල වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම පුද්ගලයා විසින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට රාජකාරියට බාධා කර ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනය අවසන් බවත් කියා සිටියා.